Tuesday, July 17, 2018

වීදීයේ හඬ - බලක්නාම්

වීදීයේ හඬ - බලක්නාම්


වේලාව උදැසන 6 යි. ෂම්බු සිය දිනය ආරම්භ කරනුයේ හිමිදිරි පාන්දරමය. සිය පවුලේ සාමාජිකයින් සමග ඔහු ජිවත් වන්නේ බටහිර නව දිල්ලියෙහි මුඩුක්කුවක පිහිටි පැල්පතකය. ඔහු වෙසෙන්නේ මුඩුක්කුවක වුවුද එ් අවට පරිසරය අතිශය කාර්යබහුල දියුණු ප‍්‍රදේශයකි. ෂම්බු ගේ සිය දවසේ උදැසන පැය 3 ක පමණ කාලය වෙන් කරනුයේ සිය පවුලට ශක්තියක් වීම සඳහා මොටර් රථ සේදීමේ කාර්යයටය. ඔහු සිය රැකියාවෙන් මසකට ඩොලර් 50 ක් උපයන අතර එය ඔවුන්ගේ පවුලේ ආර්ථිකයට දැඩි ශක්තියකි.

17 හැවිරිදි ෂම්බු සිය දවසේ ඉතිරියෙන් පැය කිහිපයක් අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන අතර ඔහු මෙන්ම සම වයසේ තරුණ පිරිස් ඉගෙනිම් කටයුතු තිබුනද නැතද දිනපතා අධ්‍යාපන මධ්‍යස්ථානය වෙත පැමිණෙනුයේ උද්යෝගයෙනි. ෂම්බු අද නව දිල්ලියේ වැසියෙක් වුවද ඔහු උපන්නේ ඉන්දියාවේ දිළිඳුම ප‍්‍රාන්තය වන බිහාර් හි බිරාවුල් නම් ගම්මානයේය. නව හැවිරිදි වියේදි සිය පියාට පිපිඤ්ඤ අලෙවියට සහය වීම පිනිස ඔහු නව දිල්ලියට පැමිණියේය. සිය උපන් ගමේදී ෂම්බු රජය මගින් ක‍්‍රියාත්මක පාසලකට ගියේය.
”ඇත්තටම එය වැඩක් නෑ. මොකද අපි කිසිම දෙයක් එහිදි ඉගෙන ගත්තේ නෑ කිව්වොත් තමා හරි.”
ඔහු ට එ් අධ්‍යාපනය පිළිබඳව ඇත්තේ එවැනි අදහසකි. එහෙත් නව දිල්ල්යේ අධ්‍යාපන මධ්‍යස්ථානය ඔහුට ලියන්නට හා කියවන්ට ඉගෙනිමට සහය විය. ඔහුට මේ හරහා නව මාවතක්ද විවිර විය. එ් ඔහුට මාධ්‍යවේදියෙකු වීමට ලැබුනු අවස්ථාවයි. වීදි දරුවන් වෙනුවෙන්ම මුද්‍රණය වන ”බලක්නාම්” පුවත්පත හරහා ඔහු මධ්‍යවේදියෙකු වුවා පමණක් නොව අද ෂම්බු එහි ප‍්‍රධාන කර්තෘවරයායි.

”බලක්නාම්” යන්නෙහි හින්දි අර්ථය ”දරුවන්ගේ හඬ” යන්නයි. ෂමුබු මෙහි දිදුලන තරුවයි.
”ඉස්සර මගේ සේවය ගන්න එන අය මාව දන්නේ මගේ මොටර් රථය හෝදන ළමයා කියලා.එත් අද සියල්ල වෙනස් වෙලා අද ඔවුන් මාව දන්නේ බලක්නාම් පත්තරේ හරහා.මේ අසළ ජිවත් වෙන වෛද්‍යවරියක් ඇය මට කථා කරන්නේ කර්තෘ සර් කියලා. දැන් හැමෝම වගේ මට එ් නමින් කථා කරනවා.”
සිය පත්තර කන්තොරුවට වී ෂම්බු එසේ පවසනුයේ සිනහ පිරි මුවිනි.
”අපි හැම මාසයකම පත්තරයේ නව මුද්‍රණය එලි දක්වනවා. අපි මේ පිටපත් නිවෙස් වලට ගිහිල් අලෙවි කරනවා. එහිදි බොහෝ දෙනා අපට නොමසුරුව මුදල් අධාර ලබා දෙනවා.”
ඔවුහු මෙම පුවත් ප අලෙවි කරනුයේ රුපියල් 5 යි ශත 10 ක මුදලකටය. එහෙත් පොලිස් ස්ථාන හා වීදි දරුවන් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ඔවුහු මෙය නොමිලේ ලබා දෙති. සාමාන්‍යයෙන් පුවත්පතේ හින්දි බසින් මුද්‍රණය වන පිටපත් 8000 ක පමණ ප‍්‍රමාණයක් අලෙවි වේ. දරුවන් බල ගැනිවීම උදෙසා ක‍්‍රියාත්මක රාජ්‍ය නොවන ආයතනයක් වන ”චෙන්ටා” ආයතනයේ අධ්‍යක්ෂ සන්ජේ ගුප්තාගේ මුලිකත්වයෙන් ආරම්භ වූ මෙම පුවත් පත සඳහා මුලික වියදම් දරනු ලැබුවේ මෙම ආයතනය විසින්මය. මෙහි ආරම්භය සිදු වුයේ 2002 වර්ෂයේදීය.
”අපි බලක්නාම් ආරම්භ කරද්දි එයට ආයෝජනය කලා වගේම එ් සඳහා අවශ්‍ය සම්පූර්ණ මග පෙන්වීමද කලා. එහෙත් අද එය සම්පූර්ණයෙන් නිදහස් පුවත්පතක්. එහි සියළු කටයුතු කෙරෙනුයේ දරුවන් අතින්. අපි දැන් කරන්නේ අවශ්‍ය වෙලාවට උපදෙස් දීම පමණයි. එ් වගේම අපි ඔවුන් ධෙර්යමත් කිරිමේ අරමුණින් පුවත්පත ඉංග‍්‍රිසි මාධ්‍යයට පරිවර්තනය කරනවා.”

එ් මෙහි ආරම්භයට අඩිතාලම දැමු සන්ජේ ගුප්තාය. වර්තමානයේදී ඔවුන්ට මාසයකට ලිපි 5000 ක් පමණ ලැබනුයේ ”විද්‍යුත් ලිපිනයට” හා ”වට්ස් ඇප්” හරහාය. දිල්ලියේ පමණක් වීදි දරුවන් 50,000 කට අධික පිරිසක් වෙසෙන අතර ඔවුහු අතරින් 87% කට නිසි අධ්‍යාපණයක් හෝ සාක්ෂරතාවයක් නොමැත. එලෙසම මෙම දරුවන් සියළු දෙනා විවිධ රැුකියාවල යෙදෙන අතර ඇතැමුන් හිඟමනේ යෙදේ. එසෙම විවිධ අපරාධවලට මෙන්ම ලිංගික අපයෝජන වලට මෙම දරුවන් බහුල ලෙස ලක්වේ. මෙම පුවත්පතේ සේවයේ යෙදෙන ෂම්බු වැනි දරුවන් සියළු දෙනා ද යන්තම් පාසල් ගොස් දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගත් දරුවන්ය.
”අපි හැම අවස්ථාවකම උත්සහ දරන්නේ අපේ ලිපි හරහා දරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අවධානය යොමු කරන්නයි.”

ෂම්බු සිය අරමුණ පැහැදිලි කරනුයේ එලෙසිනි. සම්බු සමග මෙහි වාර්තාකරුවන් 9 කු සේවයේ යෙදේ. මෙහි සේවය යෙදිම වෙනුවෙන් ඔවුන්ට ලැබෙනුයේ සුළු දීමනාවක් පමණි. එහෙත් ඔවුන් සතුටින් හා උද්යෝගයෙන් එහි සේවයේ යෙදේ. ෂම්බු පවසන පරිදි එය එතරම් පහසු කාර්යයක් නොවේ.
”ඇතැම් අවස්ථවල පුද්ගලයින් අපිත් එක්ක දිගින් දිගටම වාද කරනවා. මොකද ඔවුන්ට අවශ්‍ය තමන්ගේ කථාව මුල් පිටුවට දාගන්න. එ්ත් අපට අවශ්‍ය වඩා වැදගත්ම ලිපි මුල් පිටුව සඳහා දාන්න. ඇත්තටම මේක විශාල අභියෝගයක්.”
ෂම්බු බාතුනි ප‍්‍රදේෂයේ වාර්තාකරු ලෙසට මෙම් පුවත්පතට සම්බන්ධවුයේ වයස අවුරුදු 10 දීය.දැනට වසරක පමණ කාලයක සිට ඔහු මෙහි කර්තෘවරයායි. ෂමුබු මෙන්ම මෙහි සේවයේ යෙදෙන සියළු දෙනා සිය අධ්‍යාපනය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 10 ට පසුවය.ඔවුන් සියළු දෙනා ළමා ශ‍්‍රමිකයින් ලෙසට සේවයේ යෙදෙමින් ඉගේනිමේ යෙදෙන පිරිසකි.

ෂම්බු සිහිනය සිය අනාගතයද ජනමාධ්‍යවේදය හරහාම සකස්කර ගැනීමය. එලෙසම වීදි දරුවන් සඳහා ඔවුන්ගේ සුබ සිද්ධිය සඳහා යමක් කිරිමය.
”මේ රටේ මිනිස්සු වීදි වල ඉන්න දරුවෝ දිහා බලන්නේ අපි‍්‍රය සහගත බැල්මකින්. ඔවුන්ට අනුව අපට අනාගතයක් නෑ. මට අවශ්‍ය මේ දෙවල් නතර කරන්න.”
එලෙසම ෂම්බු බලක්නාම් පිළිබඳව ඇත්තේ ගෞරවකි.
”මට බලක්නාම් වෙත එන්න නොහැකි වුනා නම් අද මම එක්කෝ හෝටලයක සේවයේ යෙදෙන්නෙක්.නැතිනම් පියා වගේ පිපිඤ්ඤ අලෙවියේ යෙනෙවා. අද මට මේ සියල්ල ලැබුනේ බලක්නාම් නිසා.එය මගේ දිවිය වෙනස් කලා.”
ඔහු සතුව වීදි දරුවන්ට දීමට අපුරු උපදෙසකුත් ඇත.
”හැම විටම අවස්ථාවක් සොයා ගන්න වෙහෙස වෙන්න.එය අපට බොහෝ දේ ලබා දේවි”

නයනකේෂී විජේකෝන්

No comments:

Post a Comment