Thursday, August 15, 2019

අලි මිනිස් ගැටුමට මී මැස්සාගෙන් උත්තරයක්




අලියා නැතිනම් හස්තියා යනු මිහිමත වෙසෙන විසල්ම ක්ෂීරපායී සත්ත්වයාය. බොහෝ විට වන ගහනයේ වෙසෙන සතුන් මේ සද්ධන්ත ගේ කාය ශක්තියට දක්වන්නේ බියකි. එය මනු සතාටද පොදුය. අලියකු ඉදිරියේ ඕනෑම මිනිසකුගේ හිතට දැනෙනුයේ බියකි. එමෙන්ම මේ සද්ධන්ත කයෙහි සැඟව ඇති ශක්තියද විශාලය. බොහො විට මිනිසකුට නොව මිනිසුන් විශාල පිරිසකට කිරීමට සිතිය වත් නොහැකි දේ තනි හස්තියකු අතින් ඉටු වන්නේ එබැවිනි.

මී මැස්සා යනු සත්ත්ව ලොකයේ සිටින කුඩාම කෘමියකි. මී පැණි නිපදවීම හා සිය තුඩගින් සතුරාට පහරදීම හැර මී මැස්සාට සිය කාය ශක්තියෙන් විශාල දෙයක් කිරීමට නොහැකිය. හස්තියා හා සැසඳීමේදී නම් මී මැසිසාට සිය කාය ශක්තියෙන් කල හැකි කිසිවක්ම නොමැති යැයි කිව හැකිය.

එහෙත් පුදුමයට ඇති කාරණය නම් කාය ශක්තියෙන් අනූන වූ හස්තියා කුඩාම කුඩා මී මැස්සාට අතිශය බියක් දැක්වීමයි. මෙය අසන අයෙකුට අදාහා ගත නොහැ කාරණය් වුවද අසිරිමත් සත්ත්ව ලොව අපූර්වත්වය එයයි. අලියකු මී මැසි නදක් නැගේ නම් ඒ පෙදෙසට හෝ නොයන බව සඳහන් වේ. සත්ත්ව විද්‍යාඥයින් සඳහන් කරන අකාරයට මෙම බිය සාධාරණය. මී මැස්සකු අලියකුගේ හොඬයට හෝ ඇස් වලට දශ්ඨ කළ හොත් ඉන් ඇතිවන වේදනාව හා අපහසුතාවය අලියාට දරා ගැනීමට අපහසු බව පැවසේ.

කෙසේ හෝ මෙම බියෙන් ප්‍රයෝජන ගනිමින් අලි මිනිස් ගැටුම පාලනය කිරීමට අප්‍රිකානු රටවල් කිහිපයකට හැකියාව ලැබී තිබේ. විශාල අලි ගහනයක් අප්‍රිකානු කලාපයේ වනාන්තර අශ්‍රීතව දිවි ගෙවුවද සාමාන්‍යයෙන් වාර්ෂිකව ඇත් දල සඳහා පමණක් ඇතුන් 30,000 ත් 38,000 ත් අතර සංඛ්‍යාවක් මරා දැමීම සිදු වේ. මීට අමතරව තවත් සැළකිය යුතු අලි ගහණයක් මිය යන්නේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස  අප්‍රිකානු ගොවීන් අතිනි. එලෙසම අලින් හේතුවෙන් විශාල ලෙස වගා හානිද සිදු වේ.


මේ අකාරයට නිරන්තරයෙන් ඇතිවන ගොවීන් හා අලින් අතර ගැටුම වැළකීම උදෙසා ඇති එකම විසඳුම විද්‍යුත් අලි වැට වගා බිම් ආවරණය කරමින් ඉදි කිරීම වුවද එය අප්‍රිකාව තුළ ඒ තරම් ප්‍රායෝගික නොවේ. බෙහෝ ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිය නොමැති වීම මෙන්ම මේ සඳහා දැරීමට සිදුවන විශාල පිරිවැය මෙයට මූලික හේතුවක් වී ඇත. සාමාන්‍යයෙන් විදුලි අලි වැටක් නිර්මාණය කිරිමේදී කිලෝමීයක් සඳහා ඇමරිකානු ඩොලර් 12,000 ක් පමණ වැය වේ. මෙය දිළිඳු අප්‍රිකානු ගොවීන්ට දැරීමට අතිශය අපහසු මිලකි. අතර අප්‍රිකානුවන්ගේ සාම්ප්‍රදායික දැනුමෙන් ප්‍රයෝජනයක් ගනිමින් විශේෂිත ව්‍යාපෘතියක් කෙන්යාවේදී ආරම්භ වන්නේ 2002 වර්ෂයේදී කෙන්යාව පසුබිම් කර ගනිමිනි.

කෙන්යානු වන ජීවි ආයතනයත් ඔක්ස්ෆර්ඞ් සරසවියේ සත්ත්ව විදා්‍යා අංශයත් එක්ව මී මැසි අලි වැටක් නිර්මාණය කිරීම මේ අනුව සිදුවිය. Save the elephants නම් වූ මෙම ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් සිදු කිරීමට මෙහි නියමුවන් පියවර ගත් අතර එහිදි ඔවුන් අනාවරණය කර ගැනීම් කිහිපයක්ම සිදු කර තිබේ. ඒ අනුව අප්‍රීකානු ගොවීන් මී මැසි ගුමුගුමුව පටිගත කර එය සිය ගොවී බිම් ආශ්‍රිතව වාදනය කිරීම මගින්ද අලින් ගේ පැමිණිම වලක්වා ගෙන ඇත.


මෙම දැනුම සමග නිමැවුනු අලි වැට සඳහා යොදා ගෙන ඇත්තේද ඉතා සුළු වියදමකින් නිමවා ගත හැකි සාම්ප්‍රදායික මී මැසි පෙට්ටි යොදා ගනිමිනි. මෙහිදි අදාල මී මැසි පෙට්ටි වග බිම වටා ස්ථාන ගත කරන අතර පසුව මේවා කේබල් යොදා ගනිමින් එකිනෙකට යා කරනු ලැබේ. මී මැසි ගුමු ගුමුව හේතුවෙන් අලින් වගා බිම මගහැර යන අතර වැරදීමකින් හෝ පැමිණෙන අලියා අදාල කේබල් වල ගැටීමෙන් මී මැස්සන් ඇවිස්සීම සිදු වේ. ඉන් පසුව හස්තියා පලා යනුනේ මී මැසි ප්‍රහාරයන්ට බියෙනි. මෙම අලිවැට ඉදි කිරීම සඳහා මීටර් 100 ක් සඳහා වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 100 ත් 500 ත් අතර මිලකි. එය අප්‍රිකානු ගොවීන්ට දැරිය හැකි මිලක් වන අතර මී මැසි පාලනය හරහා අලෙවි කිරීමට ලැබෙන මී පැණි මගින් ලැබෙන අදායමෙන් එය පියවා ගත හැකි වීමද විශේෂත්වයකි.

ඒ අනුව මෙහි පළමු නියමු ව්‍යාපෘතිය අත්හදා බැලීම සිදුකර ඇත්තේ කෙන්යාවේ ලයිකිපියා ප්‍රදේශයේ කිතුයා ග්‍රාමයේ වන වාග බිම් කිහිපයනක් ආශ්‍රීතවය. මෙහිදි අදාල අත්හදා බැලීම සිදුකරන ලද්දේ ඉතා කුඩා ප්‍රදේශයක් ආවරණය වන පරිදිය. එය සාර්ථක වූ අතර පසුව මෙහි පළමු අදියර යටතේ වගාබිම් 64 ක් උදෙසා මී මැසි අලි වැට යොදන ලදි. අද වන විට කෙන්යාවේ බොහෝ වගා බිම් වටා මෙම අලිවැට ඉදිකර ඇත. විශේෂයෙන් එරට වනෝද්‍යාන ආසන්නයේ පිහිටි වගා බිම් සුරැකෙනුයේ මෙම අලි වැට මගිනි.

2015 වන විට මෙම අලිවැට 306 ක් ඉදිකර තිබේ. මෙය කෙන්යාව අවට රටවල් ගණනාවක් දක්වාද ප්‍රචලිතව පවතී. මහිදි නිපදවෙන මී පැණි “Elephants friendly honey  ” යන වෙළඳ නාමය යටතේ අලෙවි කිරීම සිදුවේ. මෙහිදි ලැබෙන අදායමෙන් කොටසක්  Save the elephants  අරමුදල සඳහා බැර කෙරෙන අතර ඉතිරිය සෘජුවම ගොවින්ට හිමිවේ. මෙමගින් අප්‍රිකානු ගොවින්ට අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකියාව ලැබී තිබේ.


දැනට මෙහි නියමු ව්‍යාපෘතියක් ඔක්ස්ෆර්ඞ් සරසවිය හා ඉන්දියාවේ කේරල වනජීවි දේපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවා ඇති අතර එයද සාර්කය. මෙය ශ්‍රී ලංකාව තුළද කිසිදු අවහිරයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි අලි වැටකි. මේ සඳහා අඩු පිරිවැයක් වැය වීමත්, ඉන් ගොවීන්ට අමතර අදායමක් හිමි වීමත් විශේෂිතයි. එලෙසම මෙහි නඩත්තුව මෙන්ම ඉදිකිරීමද පහසුය. ශ්‍රී ලංකාව තුළ සැළකිය යුතු මී මැසි ගහණයක් වෙසෙන හෙයින් ඒ සඳහා මී මැස්සන් සොයා ගැනීම ද අපහසුවක් නොවේ. එමගින් මෙරට මී මැසි ගහණයද ආරක්ෂා වනු ඇති අතර අලි මිනිස් ගැටුමට ද විරමායක් ලැබෙනු ඇත.

නයනකේෂී විජේකෝන්.